
LTTE සංවිධානය ක්රියාකාරීව පැවැති සමයේ යාපනයේ සන්නද්ධ අංශ නායකයා ලෙස කටයුතු කළ තිලීපන්ගේ සැමරුම් උත්සවයක් අතරතුර යාපනය නල්ලූර් ප්රදේශයේදී පොලිසිය සමඟ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා. තිලීපන්ගේ පිළිරුව ඉදිරිපිට පැවැති මෙම සැමරුම අතරතුර පොලිසිය පැමිණ ශබ්දය වැඩි බව පවසමින් එහි වාදනය කරමින් තිබූ ගීත නතර කර ඇති බවයි වාර්තා වන්නේ. අනතුරුව සැමරුම සඳහා රැගෙනවිත් තිබූ ඇම්ප්ලිෆයර්, ස්පීකර් ඇතුළු ශබ්ද විකාශන උපකරණ පොලිසිය විසින් ඉවත් කර වාහනයකට පටවාගෙන රැගෙන යාමත් සමඟ එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙනවා. මෙම සිදුවීම වාර්තා වී ඇත්තේ තිලීපන්ගේ 39 වැනි අනුස්මරණය වෙනුවෙන් නල්ලූර් ප්රදේශයේ පැවැත්වෙන සැමරුම් වැඩසටහන් අතරතුරයි. මෙවර සැමරුමේ විශේෂත්වයක් වන්නේ තිලීපන් සිහිපත් කිරීම සඳහා නල්ලූර් ප්රදේශයේ නව ලෝකඩ පිළිරුවක් ඉදිකර තිබීමයි. තිලීපන්ගේ පිළිරුව ඉදිරිපිට පැවැත්වෙන සැමරුම් සඳහා සහභාගී වූ පිරිස් එම පිළිරුවට මල්මාලා පළඳවා මල් පුද කරමින් ඔහු සිහිපත් කර තිබෙනවා. රාසයියා පාර්තිපන් හෙවත් තිලීපන් එවකට LTTE සංවිධානයේ යාපනයේ දේශපාලන අංශයේ ප්රමුඛ චරිතයක් ලෙස කටයුතු කළ අයෙකු වනවා. 1987 වසරේ සැප්තැම්බර් 15 වැනිදා නල්ලූර් කන්දසාමි කෝවිල ආසන්නයේදී ඔහු ඉන්දීය රජය වෙත ඉල්ලීම් පහක් ඉදිරිපත් කරමින් උපවාසයක් ආරම්භ කළ බව සඳහන්. ආහාර සහ ජලය ප්රතික්ෂේප කරමින් ඔහු සිදුකළ එම උපවාසය දින 12ක් පුරා පැවති අතර, 1987 සැප්තැම්බර් 26 වැනිදා තිලීපන් මියගියා. එම සිදුවීමෙන් පසුව තිලීපන්ගේ මරණය LTTE සංවිධානය හා සම්බන්ධ දෙමළ සන්නද්ධ අරගලයේ ඉතිහාසයේ සුවිශේෂී සිදුවීමක් ලෙස සැලකෙන අතර, සෑම වසරකම සැප්තැම්බර් මාසයේදී ඔහු සිහිපත් කරමින් විවිධ අනුස්මරණ වැඩසටහන් පැවැත්වෙනවා. මෙවරත් සැප්තැම්බර් 15 වැනිදා සිට සැප්තැම්බර් 26 වැනිදා දක්වා තිලීපන් අනුස්මරණ වැඩසටහන් පැවැත්වෙන අතර, නල්ලූර් එහි ප්රධාන ස්ථානයක් බවට පත්ව තිබෙනවා.
