
මත්ද්රව්ය චෝදනාවකට අදාළව හෝමාගම පොලිස් අත්අඩංගුවට ගෙන සිටියදී මියගිය සැකකරුගේ පශ්චාත් මරණ පරීක්ෂණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් අද (27) ලබාදී තිබෙනවා. ඒ, කළුබෝවිල ශික්ෂණ රෝහලේදී අධිකරණ වෛද්ය නිලධාරියා විසින් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුවයි. මෙලෙස මියගොස් ඇත්තේ 29 හැවිරිදි වියේ පසුවූ, කිරිවන්තොඩුව, මූණමල්වත්ත ප්රදේශයේ පදිංචිකරුවෙක්. පොලිස් මාධ්ය ප්රකාශක කාර්යාලය ඊයේ (26) රාත්රී නිකුත් කළ නිවේදනයකට අනුව, පසුගිය 25 වැනිදා පිටිපන හන්දියේදී අයිස් මත්ද්රව්ය සමඟ හෝමාගම පොලිස් නිලධාරීන් විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුව ඔහු හෝමාගම පොලිස් ස්ථානයට රැගෙන ගොස් ඇති අතර, එහිදී ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ප්රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම මහේස්ත්රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු වැඩබලන මහේස්ත්රාත්වරයා ස්ථාන පරීක්ෂාවක් සහ මෘත ශරීරය සම්බන්ධයෙන් මහේස්ත්රාත් පරීක්ෂණයක් ද සිදුකර තිබෙනවා. මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වූ කරුණු මත හෝමාගම පොලිස් ස්ථානයට අනුයුක්ත උප පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකුගේ සහ පොලිස් කොස්තාපල්වරයෙකුගේ සේවය අත්හිටුවීමට පියවර ගෙන තිබුණා. ඒ අනුව, අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක බී.ආර්. ගුරුසිංහ, දූෂණ මර්දන අංශයේ උප පොලිස් පරීක්ෂක බී.එම්.එල්.අබේරත්න සහ උප සේවයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල් ප්රභාත් යන නිලධාරීන්ගේ සේවය අත්හිටුවා ඇති බව සඳහන් වනවා. පොලිස්පතිවරයාගේ උපදෙස් මත සිදුවූ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිස් ස්ථානයට රැගෙන ආ අවස්ථාවේදී ඔහු භාරගැනීමේදී අනුගමනය කළ යුතු නීත්යනුකූල ක්රියාපටිපාටිය නිසි ලෙස අනුගමනය කර නොමැති බවයි. දූෂණ මර්දන අංශය මඟින් අත්අඩංගුවට ගත් සැකකරු නීත්යනුකූලව සටහන් යොදා භාරගැනීමකින් තොරව අපරාධ අංශය වෙත රැගෙන ගොස් ඇති බවට අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට චෝදනා එල්ල වී තිබෙනවා. එසේම, සැකකරු පොලිස් ස්ථානයට රැගෙන ආ උප පොලිස් පරීක්ෂක අබේරත්න විසින් ඔහු නියමිත ක්රියාපටිපාටියට අනුව උප සේවයේ රාජකාරියේ නිරත නිලධාරියාට භාර නොදී අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට භාරදී ඇති බවට ද විමර්ශනවලදී අනාවරණය වී ඇති බව සඳහන්. එමෙන්ම, සැකකරු ලිඛිතව භාරගැනීමකින් තොරව සිර මැදිරියට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් උප සේවයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයාගේ ද සේවය අත්හිටුවා තිබෙනවා. මේ අතර, සැකකරුට පොලිස් අත්අඩංගුවේදී පහරදීමක් සිදුවූ බවට සැක කෙරෙන මූලික තොරතුරු සහ සාක්ෂි ද විමර්ශන නිලධාරීන් වෙත ලැබී ඇති බව වාර්තා වනවා. සැකකරුගේ හිසට, ලිංගික අවයව ආශ්රිත ප්රදේශයට සහ ශරීරයේ විවිධ ස්ථානවලට පහරදී ඇති බවට තොරතුරු ලැබී ඇති බව සඳහන්.
