
විපක්ෂයේ දේශපාලනඥයන් බහුතරයකට එරෙහිව මේ වනවිටත් අධිකරණ රැසක නඩු විභාග වෙමින් පවතින බැවින්, ඉදිරියේදී ද දේශපාලන කරළිය තුළ සියදිවි හානිකරගැනීම් වැනි සිදුවීම් වාර්තා විය හැකි බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා. බිංගිරිය ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ සියදිවි නසාගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මෙම අදහස් පළ කළා. හිටපු දේශපාලනඥයන්ට නියම වූ සිරදඬුවම් පිළිබඳව මතක් කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, මහින්දානන්ද අලුත්ගමගේ මහතා වසර 20කට, හිටපු වෙළෙඳ අමාත්‍යවරයා වසර 25කට සහ සරණ ගුණවර්ධන 16කට වශයෙන් දඬුවම් නියම වී ඇත්තේ ඔවුන්ට එරෙහිව ඇති චෝදනා එකක් සඳහා පමණක් බවයි. රාජපක්ෂ පවුලේ සෑම සාමාජිකයෙකුටම පාහේ නඩු පෝලිමක් පවතින බව ප්‍රකාශ කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, මෙම තත්ත්වය හමුවේ ඉදිරියේදී බොහෝ පිරිසකට සිරගත වීමට සිදුවනු ඇති බවත්, ඊට පෙර ඇතැම්විට මෙවැනි සියදිවි හානිකරගැනීම් සිදු විය හැකි බවත් සඳහන් කළා. කෙසේ වෙතත්, හිටපු පොලිස්පතිවරයාගේ සියදිවි නසාගැනීම කුමන කරුණක් මුල් කරගෙන සිදුවූවාදැයි නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බව ද ඔහු අවධාරණය කළා. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, “පසුගිය දවස්වල සියදිවි නසාගැනීම් කිහිපයක්ම වුණා. මීට පෙර සියදිවි නසාගත් අයෙක් තමන්ගේම අත්අකුරින් ලියූ ලිපි මඟින් අධිකරණයට සහ අල්ලස් කොමිසමට තොරතුරු හෙළි කර තිබුණා, කාල්ටන් නිවසේදී මහින්ද රාජපක්ෂ මහතාට වාර කිහිපයකදී සහ එයාර් බස් ගනුදෙනුවට අදාළව හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාට අල්ලස් ලබාදුන් ආකාරය පිළිබඳව. දැන් හිටපු පොලිස්පතිවරයෙකුත් සියදිවි නසාගෙන තිබෙනවා. ඉදිරියට තව කී දෙනෙකුට මෙවැනි තීරණ ගන්න වෙයිද දන්නේ නැහැ. මොකද විපක්ෂයේ ඉන්න පිරිසෙන් අති බහුතරයක් ඉන්නේ ඇප පිට, ඔවුන්ට විරුද්ධව නඩු පෝලිමක් තිබෙනවා.”
