
ශ්රී ලංකාව සහ ජර්මනිය අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගනිමින් වෙළෙඳාම, ආයෝජන, සංචාරක ව්යාපාරය සහ අධ්යාපනය ඇතුළු ක්ෂේත්ර රැසක සහයෝගීතාව පුළුල් කිරීමට දෙරටේ අවධානය යොමුව තිබෙනවා. ජර්මනියේ ජාතික එක්සත් දිනය සැමරීම වෙනුවෙන් ඊයේ (26) කොළඹදී පැවති පිළිගැනීමේ උත්සවයට එක්වෙමින් අමාත්ය ආචාර්ය අනිල් ජයන්ත ප්රනාන්දු මහතා මේ බව සඳහන් කළා. එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, රජය සහ ශ්රී ලාංකික ජනතාව වෙනුවෙන් ජර්මනියේ ජනාධිපතිවරයාට, රජයට සහ ජනතාවට සුබපැතුම් එක් කළ අමාත්යවරයා, 1990 වසරේදී ජර්මනිය යළි එක්සත් වීම සිහිපත් කරන ජර්මන් එක්සත් දිනයේ වැදගත්කම ද අවධාරණය කළා. ශ්රී ලංකාව සහ ජර්මනිය අතර රාජ්යතාන්ත්රික සබඳතා 1953 වසරේදී ආරම්භ වී ඇති අතර, එතැන් සිට දේශපාලන, ආර්ථික, අධ්යාපනික, සංස්කෘතික සහ සංවර්ධන ක්ෂේත්ර ඔස්සේ දෙරට අතර සහයෝගීතාව වර්ධනය වී තිබෙනවා. ශ්රී ලංකාවේ සිව්වැනි විශාලතම අපනයන වෙළෙඳපොළ වන ජර්මනිය වෙත 2025 වසරේදී සිදුකළ මෙරට අපනයනවල වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 700 ඉක්මවා ඇති බව ද මෙහිදී සඳහන් කෙරුණා. එමෙන්ම ජර්මානු සමාගම් 160කට වැඩි සංඛ්යාවක් මේ වන විට ශ්රී ලංකාවේ ක්රියාත්මක වන බව ද අනාවරණය වනවා. සංචාරක කර්මාන්තය පිළිබඳව අදහස් දක්වමින් අමාත්ය ආචාර්ය අනිල් ජයන්ත ප්රනාන්දු මහතා සඳහන් කළේ, 2025 වසරේදී ජර්මානු සංචාරකයන් 147,966 දෙනෙකු ශ්රී ලංකාවට පැමිණ ඇති බවයි. ඒ අනුව ජර්මනිය ශ්රී ලංකාවේ සිව්වැනි විශාලතම සංචාරක වෙළෙඳපොළ බවට පත්ව තිබෙනවා. අධ්යාපනය සහ වෘත්තීය පුහුණුව වෙනුවෙන් ජර්මනිය ලබාදෙන සහාය අගය කළ අමාත්යවරයා, ලංකා ජර්මානු කාර්මික අභ්යාස ආයතනය හෙවත් ‘ජර්මන් ටෙක්’ ආයතනය මෙරට කාර්මික පුහුණු ක්ෂේත්රය තුළ වැදගත් කාර්යභාරයක් ඉටුකරන බව ද සඳහන් කළා. එමෙන්ම ‘දිට්වා’ සුළිකුණාටුවෙන් පසුව ජර්මනිය ශ්රී ලංකාවට ලබාදුන් සහාය සම්බන්ධයෙන් කෘතඥතාව පළ කළ ඔහු, දෙරට අතර පාර්ලිමේන්තු සබඳතා, සංස්කෘතික හුවමාරු සහ ජනතා සබඳතා තවදුරටත් වර්ධනය කරගැනීමේ වැදගත්කම ද පෙන්වා දුන්නා. ජර්මනියේ වෙසෙන 120,000කට අධික ශ්රී ලාංකික ප්රජාව දෙරට අතර සමාජීය හා සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරීමට දායක වන බව ද එහිදී සඳහන් කළා. ආචාර්ය අනිල් ජයන්ත ප්රනාන්දු මහතා වැඩිදුරටත් කියා සිටියේ ජර්මනිය සමඟ ආර්ථික සහයෝගීතාව පුළුල් කිරීම, දෙරටේ ජනතාව අතර සබඳතා වර්ධනය කිරීම සහ නව හවුල්කාරිත්ව අවස්ථා ඇති කිරීම සඳහා ශ්රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බවයි.
