
ලොව මෙතෙක් බිහි වූ විශිෂ්ටතම තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩක ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 89 වැනි වියේ පසුවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 1954 සිට 1974 දක්වා වසර 20ක ටෙස්ට් ක්‍රිකට් දිවිය තුළ තරග 93කට එක් වූ සෝබර්ස් ලකුණු 8,032ක් රැස් කළ අතර කඩුලු 235ක් ද දවා ගැනීමට සමත් වුණා. 1958 වසරේ පාකිස්ථානයට එරෙහිව නොදැවී ලකුණු 365ක් රැස් කළ ඔහුගේ ඉනිම, වසර 36ක් පුරා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඉහළම පුද්ගලික ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා අතර රැඳී තිබුණා. පිතිකරණයෙන් පමණක් නොව, වේග පන්දු සහ දඟ පන්දු යන දෙඅංශයෙන්ම එකසේ දස්කම් දැක්වූ සෝබර්ස්, ක්‍රීඩාවේ සැබෑ තුන් ඉරියව් විශිෂ්ටයෙකු ලෙස ලොව පුරා ගෞරවයට පාත්‍රව ඇති බව සඳහන්. 1968 වසරේ නොටින්හැම්ෂයර් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරමින් සිටියදී, පළමු පෙළ ක්‍රිකට් තරගයක එක් පන්දුවාරයක පන්දු හයටම හයේ පහර හයක් එල්ල කළ ලොව පළමු ක්‍රීඩකයා ලෙස ද ඔහු ඉතිහාසයට එක්වී තිබෙනවා. ක්‍රිකට් ක්‍රීඩාවට කළ සුවිශේෂී මෙහෙවර වෙනුවෙන් 1975 වසරේදී “නයිට්” ගෞරව නාමයෙන් පිදුම් ලැබූ සෝබර්ස්, 20 වැනි සියවසේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයින් පස්දෙනා අතරට ද නම් කර තිබුණා.
