
අද (21) දිනයේ පාර්ලිමේන්තුව රැස්වීමත් සමඟ වැදගත් කරුණු කිහිපයක් පිළිබඳ විවාද පැවැත්වීමට නියමිතව තිබෙනවා. පෙරවරු 9.30ට ආරම්භ වන පාර්ලිමේන්තු රැස්වීමේදී, ස්ථාවර නියෝග 119 සහ 120 යටතේ ඉදිරිපත් වන යෝජනා දෙකක් සභාවේ අනුමැතිය සඳහා විවාදයට ගැනීමට නියමිත බවයි පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය නිවේදනය කරන්නේ. ඉන් අනතුරුව විදේශ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන්ට පූර්ණ විද්‍යුත් වාහන ආනයනය සඳහා බලපත්‍ර ලබාදීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් COPA කාරක සභාව සිදු කළ විමර්ශන වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කිරීම පිළිබඳ විශේෂ විවාදයක් පැවැත්වීමට නියමිතයි. COPE කාරක සභාව හෙළි කළ කරුණු සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ඒවා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත යොමු කිරීම පිළිබඳ යෝජනාවක් ද අද දිනේදී පාර්ලිමේන්තුවේ අවධානයට ලක්වනවා. පස්වරුවේ මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ කාර්යසාධනය සම්බන්ධයෙන් සභාව කල්තැබීමේ යෝජනාවක් විවාදයට ගැනීමටද නියමිතයි. මේ අතර අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද කථානායකවරයා වෙත භාරදීමට විපක්ෂය තීරණය කර තිබෙනවා.
