
ඉදිරියේදී පැවැත්වීමට නියමිත අපොස උසස් පෙළ විභාගය මාස දෙකකින් කල් දමන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේද නැද්ද යන්න පිළිබඳ තීන්දුව ලබන ජූලි 23 වනදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය නියෝග කළා. මෙම වසරේ උසස් පෙළ විභාගයට පළමු සහ දෙවන වරට පෙනී සිටීමට නියමිත සිසු සිසුවියන් නව දෙනෙකු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා. අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ ඊයේ (16) මෙම පෙත්සම සලකා බලනු ලැබුවා. පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ භූපති කහතුඩුව මහතා අධිකරණය හමුවේ කියා සිටියේ, අධ්‍යාපන අමාත්‍යාංශයේ චක්‍රලේඛවලට අනුව නිසි පරිදි පැවැත්විය යුතු පාසල් දින ගණන මෙවර සම්පූර්ණ වී නොමැති බවයි. ‘දිට්වා’ සුළි කුණාටුව සහ රට තුළ පැවති ඉන්ධන අර්බුදය හේතුවෙන් බදාදා දිනවල පාසල් නිවාඩු දීමට රජය ගත් තීරණ නිසා අධ්‍යයන කටයුතුවලට බාධා මතු වූ බව ඔහු පෙන්වා දුන්නා. මෙවන් පසුබිමක ලබන අගෝස්තු මාසයේදී සැලසුම් කර ඇති පරිදි විභාගය පැවැත්වුවහොත් සිසුන්ට දැඩි අසාධාරණයක් සිදුවන බැවින්, දැනට නිකුත් කර ඇති විභාග කාලසටහන බලරහිත කර විභාගය මාස දෙකකින් කල් දමන ලෙස නීතිඥවරයා ඉල්ලා සිටියා. වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා මෙම ඉල්ලීමට දැඩි ලෙස විරෝධය පළ කළා. මෙවර විභාගය සඳහා සිසුන් 378,000 ක් පමණ ලියාපදිංචි වී සිටින බවත්, ඉන් නව දෙනෙකු පමණක් විභාගය කල් දමන ලෙස ඉල්ලා සිටින බවත් ඔහු සඳහන් කළා. විභාගයට පෙනී සිටීම සඳහා 80%ක පාසල් පැමිණීමක් අවශ්‍ය වුවද, මෙම පෙත්සම්කාර සිසුන් අතරින් එක් අයෙකුගේ පැමිණීම 7.2%ක් තරම් අවම මට්ටමක පවතින බවත්, අනෙක් අයගේ පැමිණීමද 50% – 53% වැනි සීමාවල පවතින බවත් සොලිසිටර් ජනරාල්වරයා හෙළි කළා. නිසි ලෙස පාසල් නොපැමිණි සිසුන් පිරිසක් තමන්ට කාලය මදි බව පැවසීම පදනම් විරහිත බවත්, විභාගය කල් දැමුවහොත් සමස්ත සිසුන්ගේ විශ්වවිද්‍යාල ප්‍රවේශය ඇතුළු අනාගතය අවුල් වන බවත් ඔහු පැවසුවා. ඒ අනුව, පෙත්සම්කරුවන් අධිකරණයට කරුණු වසන් කිරීමක් සිදු කර තිබෙන බවත් ඔවුන් අධිකරණයට පැමිණ තිබෙන්නේ පිරිසිදු දෑතින් නොවන බවත් මෙහිදී සොලිසිටර් ජනරාල්වරයා අවධාරණය කළා. දෙපාර්ශවයේම කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල, මෙම නඩුවට අදාළ ලිඛිත දේශන පවතින්නේ නම් ඒවා ලබන සඳුදාට පෙර ගොනු කරන ලෙස පාර්ශවකරුවන්ට නියම කළා. ඒ අනුව, මෙම පෙත්සම ඉදිරියට පවත්වාගෙන යෑමට අවසර දෙන්නේද නැද්ද යන්න පිළිබඳ අවසන් තීන්දුව ලබන ජූලි 23 වනදා ප්‍රකාශයට පත් කෙරනු ලබනවා. මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අධ්‍යාපන අමාත්‍යවරිය, අධ්‍යාපන ලේකම්වරයා සහ විභාග කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.
