
ශ්‍රී ලංකාව ස්ථාවර සහ හරිත බලශක්ති අනාගතයක් කරා ගෙන යන ප්‍රධානතම පියවරක් තබමින්, මන්නාරම 50 MW HayWind සුළං විදුලි බලාගාරයට අවශ්‍ය අවසාන ටර්බයින තොගය ත්‍රිකුණාමල වරායට ළඟා වී තිබෙනවා. මීට සති කිහිපයකට පෙර මෙරටට රැගෙන ආ පළමු ටර්බයින තොගය මේ වන විටත් මන්නාරමේ අදාළ ඉදිකිරීම් භූමියේ ස්ථාපනය කරමින් පවතින බව වාර්තා වනවා. 2026 ජනවාරි මාසයේදී ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහි ඉදිකිරීම් කටයුතු නිල වශයෙන් ආරම්භ කෙරුණු අතර, සැලසුම් කර ඇති පරිදි 2027 මාර්තු වන විට මෙහි සමස්ත ඉදිකිරීම් අවසන් කර මෙගාවොට් 50ක ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට නියමිතයි. මෙම ව්‍යාපෘතියේ විශේෂිතම ජයග්‍රහණයක් වන්නේ මෙරට ඉතිහාසයේ සුළං බලයෙන් නිෂ්පාදනය කෙරෙන විදුලි ඒකකයක් වෙනුවෙන් ගෙවනු ලබන අඩුම මිල මෙහිදී වාර්තා වීමයි. ඒ අනුව විදුලි ඒකකයක් මිලදී ගැනීමට ගිවිසුම්ගත වී ඇත්තේ අමෙරිකානු ඩොලර් 0.0465ක (ශ්‍රී ලංකා රුපියල් 14.37) වැනි ඉතා අවම මුදලකටයි. මෙම ව්‍යාපෘතිය හරහා 2030 වන විට මෙරට ජාතික විදුලිබල පද්ධතියෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් නිෂ්පාදනය කිරීමේ ජාතික ඉලක්කයට ළඟා වීමට විශාල පිටුවහලක් ලැබෙනවා. තරඟකාරී ජාත්‍යන්තර ටෙන්ඩර් ක්‍රියාවලියක් ඔස්සේ තෝරාගත් Hayleys Fentons PLC සමාගම විසින් මෙම ටර්බයින ස්ථාපනය සහ නඩත්තු කටයුතු සිදු කරනු ලබනවා. එමෙන්ම, බලශක්ති අමාත්‍යංශයට අයත් ජාතික පද්ධති කළමනාකරු සමාගම (National System Operator – NSO) විසින් මෙහි සමස්ත පද්ධති පාලනය සහ කළමනාකරණ කටයුතු සිදු කිරීමට නියමිතයි.
