
පාවිච්චි කරන ලද වාහනවල රේගු වටිනාකම තීරණය කිරීමේදී මීට පෙර අදාළ වූ 15%ක තක්සේරු අඩු කිරීම ඉවත් කිරීමත් සමග, ආනයනය කරන ලද පාවිච්චි කළ වාහනවල මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බවට ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. භාවිත කළ වාහන මෙරටට ආනයනය කිරීමේදී රේගු බදු ගණනය කිරීම සඳහා පදනම් කරගන්නා නිෂ්පාදකයාගේ සිල්ලර මිලෙන් (Retail Price) දැනට අඩු කරනු ලබන 15% ක ප්‍රතිශතය, 25%ත් 30%ත් අතර අගයක් දක්වා වැඩි කරන ලෙස එම සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා. එම සංගමය පෙන්වා දෙන්නේ, දැනට පවතින 15% කප්පාදුව ඉවත් කිරීමට රජය කටයුතු කළහොත්, වෙළෙඳපොළේ වාහන මිල රුපියල් ලක්ෂ 7 සිට ලක්ෂ 20 දක්වා අතිවිශාල මුදලකින් ඉහළ ගොස් එහි සෘජු බලපෑම පාරිභෝගිකයාට එල්ල වන බවයි. 2016 ජූනි 14 දිනැති අංක 1971/10 දරන ගැසට් නිවේදනය මඟින් ලංකාවට ආනයනය කරන වාහනවල වටිනාකම (Value) තක්සේරු කරන ආකාරය පැහැදිලි කර ඇති බවත්, ඒ අනුව අලුත් වාහන (Brand New) සඳහා මෙරට නිල නියෝජිතයා (Agent) විසින් ප්‍රකාශ කරනු ලබන ඉන්වොයිස් වටිනාකම (Invoice Value) මත බදු ගණනය කෙරෙන අතර, භාවිත කළ වාහන (Used Cars) සඳහා අදාළ නිෂ්පාදකයාගේ වෙබ් අඩවියේ සඳහන් සිල්ලර මිලෙන් 15% ක වට්ටමක් (Discount) ලබා දී, එමඟින් ලැබෙන තොග මිල (Wholesale Price) මත රේගු බදු ගණනය කරනු ලබන බව එම සංගමයේ උප සභාපති අරෝෂ රොද්‍රිගෝ මහතා සඳහන් කළා. එම වෙබ් අඩවිවල දැක්වෙන සිල්ලර මිලට අලෙවිකරුවන්ගේ ලාභාංශ (Dealer Margin), අලෙවියෙන් පසු සේවා ගාස්තු (Aftersales Services), සහ අදාළ රටවල පවතින මුද්දර ගාස්තු (Stamp Duty), විමෝචන බදු (Emission Tax) මෙන්ම ලියාපදිංචි ගාස්තු (Registration Charges) ඇතුළත් වන බවත් ඔහු කියා සිටියා. වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ, තමන්ට නිෂ්පාදකයන්ගෙන් 25%ත් 30%ත් අතර වට්ටමක් හිමිවන බැවින්, බදු තක්සේරු කිරීමේදී ද එම ප්‍රතිශතයම ලබාදිය යුතු බවයි. “අපි ආණ්ඩුවෙන් ඉල්ලන්නේ මේ මිල 15%ක් නෙවෙයි, 25%ක් හෝ 30%ක් වෙන්න ඕනේ කියලා. මොකද අපේ ගණනය කිරීම් අනුව සිල්ලර මිලට වඩා 25%-30%ක් අඩුවට තමයි අපිට වාහන ලැබෙන්නේ. නමුත් බදු ගෙවද්දී අපිට හම්බෙන්නේ 15%ක වට්ටමක් විතරයි. මේකෙන් රජයට පාඩුවක් වෙන්නේ නැහැ. මොකද අපි අඩුවට ගන්නා වාහනයටත් විශාල රේගු බද්දක් (Duty) ගෙවනවා.” යම් හෙයකින් දැනට පවතින මෙම 15% ක සහනය ඉවත් කිරීමට රජය පියවර ගතහොත්, වාහන මිල ඉහළ යා හැකි බවද සංගමය අනතුරු අඟවනවා. “මේ විදියට මේ 15% ඩිස්කවුන්ට් එක අයින් කළොත් ඒක ඇත්තටම ලොකුවට බලපාන්නේ පාරිභෝගිකයන්ට. මොකද හේතුව Honda Vezel වගේ වාහනයකුත් 15% අයින් කලොත් ලක්ෂ 20ක් විතර වැඩි වෙන්න පුළුවන්. Suzuki Wagon R එකක් ලක්ෂ හතහ මාරකින් වැඩි වෙන්න පුලුවන්. Toyota Yaris එකක් ලක්ෂ 10කින් වගේ වැඩි වෙන්න පුලුවන්.” මේ හේතුවෙන් පාරිභෝගිකයා දැඩි අපහසුතාවයට පත්වන බැවින්, පවතින සහනය තවදුරටත් පුළුල් කර සහනදායී බදු ක්‍රමවේදයක් සකස් කර දෙන ලෙස වාහන ආනයනකරුවෝ රජයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.
