
පෙත්සම අද පස්වරුවේ කැඳවනු ලැබුවේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු, රොහාන්ත අබේසූරිය සහ සරත් දිසානායක යන විනිසුරු මඩුල්ල ඉදිරියේයි.
එහිදී විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු සඳහන් කළේ, පුද්ගලික හේතු මත තමන් මෙම නඩු විභාගයට සහභාගී නොවන බවයි.
එම විනිසුරුවරයාගේ ඉවත් වීම හේතුවෙන් නඩුව නැවත කැඳවූයේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ සරත් දිසානායක යන විනිසුරු මඩුල්ල ඉදිරියේයි.
පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා හෙට දින කැඳවන බව එහිදී සභාපති විනිසුරුවරයා පවසා සිටියේය.
පෙත්සම අද උදෑසන කැඳවූ අවස්ථාවේ පෙත්සමේ වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් කියා සිටියේ පෙත්සමට අදාළව වගඋත්තරකරුවන්ගෙන් තමන්ට මෙතෙක් උපදෙස් ලැබී නොමැති බවයි.
තම සේවා දායකයා අත්අඩංගුවට ගැනීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි අධිකරණයෙන් ඉල්ලා සිටින බව ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ ය.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් කියා සිටියේ, නඩුකරයට අදාළ ලේඛන තමන්ට අද පෙරවරුවේ ලැබුණු බවයි.
වගඋත්තරකරුවන්ගෙන් උපදෙස් ලබා ගැනීමකින් තොරව පෙත්සම්කරු අත්අඩංගුවට නොගන්නා බවට අධිකරණයට ප්‍රතිඥාවක් ලබාදිය නොහැකි බව ඇය අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.
