
විදේශ රැකියාවල නියුතු ශ්‍රී ලාංකික විගමණික ශ්‍රමිකයින්ට තමන් සේවය කරන ස්ථානවලදී මුහුණ දීමට සිදුවන ගැටලු සහ පැමිණිලි ඉතා ඉක්මනින් හා පහසුවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත යොමු කිරීම සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද “LankaKonect“ ජංගම දුරකථන යෙදවුම (App) නිල වශයෙන් ඊයේ (16) දින ජනගත කරනු ලැබුවා. මෙම යෙදවුමේ ඇති පහසුකම් වන්නේ, සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම ක්‍රියාත්මක වන බැවින් ඕනෑම අයෙකුට පහසුවෙන් භාවිත කළ හැකියාව තිබීම මෙන්ම, විගමණික ශ්‍රමිකයින්ට තමන් සිටින ස්ථානයේ සිටම සෘජුවම විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත ‘Online’ පැමිණිලි ඉදිරිපත් කිරීමේ හැකියාව තිබීමයි. එමෙන්ම, අධ්‍යාපනය හෝ පදිංචිය සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයින්ට ද තමන්ට ඇතිවන ගැටලු සෘජුවම විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය වෙත මේ හරහා යොමු කළ හැකියාව පැවතීම සහ පැමිණිලි ලිඛිතව ඉදිරිපත් කිරීමට අමතරව, හඬ පට (Audio) සහ වීඩියෝ දර්ශන (Video) මඟින් ද සාක්ෂි සහිතව ගැටලු ඉදිරිපත් කිරීමට හැකි වීම මෙහි ඇති සුවිශේෂීම වාසියක් වනවා. මීට අමතර, තමන් ඉදිරිපත් කළ පැමිණිල්ල විමර්ශනය කෙරෙන වර්තමාන තත්ත්වය (Status) කුමක්දැයි මේ හරහා පහසුවෙන්ම පරීක්ෂා කරගැනීමට හැකියාව ලැබීමත් මෙහි එක් පහසුමක් වනවා.
