
ඉදිරි කාලසීමාවේදී මෙරට පෙට්‍රල් සහ ඩීසල් මිල අඩු කිරීම හෝ දැනට ලබා දී ඇති සහන ඉවත් කරමින් වත්මන් මිල මට්ටම් ඒ අයුරින්ම පවත්වාගෙන යාම පිළිබඳව රජයේ ඉදිරි අවධානය යොමුව ඇතැයි කම්කරු, මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසනවා. අද (17) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඉදිරි මාසයේ ඉන්ධන මිල සංශෝධනයන් සිදුවන ආකාරය පිළිබඳව මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, ඉදිරි ඉන්ධන මිල තීරණය වනුයේ මීට පෙර පැවැති සාමාන්‍ය මිල දර්ශකයන් පදනම් කරගනිමින් බවයි. දැනට ලංකාව සතුව ගබඩා කර ඇති සහ ඉදිරියට ගෙන්වීමට නියමිතව ඇති ඉන්ධන තොග, පවතින ගබඩා පහසුකම් සහ වෙළෙඳපොළ ඉල්ලුම මත පදනම්ව සලකා බැලීමේදී, ඒවා මීට පෙර පැවැති ඉහළ මිල ගණන් යටතේ මිලදී ගත් ඒවා බව අනිල් ජයන්ත මහතා පවසනවා. ලෝක වෙළෙඳපොළේ පවතින අඩු මිලෙහි වාසිය මෙරට පාරිභෝගිකයාට ළඟාවීමට නම් දැනට පවතින ඉහළ මිලට ගත් ඉන්ධන තොග අවසන් විය යුතු බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා, එම පහසුකම් අවසන් වීමත් සමඟම අඩු මිලට ගත් නව ඉන්ධන තොග භාවිතයට ගැනීමට සිදුවන බැවින්, ලෝක වෙළෙඳපොළේ මිල අඩු වීමේ වාසිය ලැබීමට යම් කාල පමාවක් සිදුවන බව එහිදී කියා සිටියා. කෙසේවෙතත් ඉදිරියේදී ඉන්ධන මිල යම් මට්ටමකින් අඩු වනු ඇතැයි රජය බලාපොරොත්තු වන බව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා. එලෙස මිල අඩු වන පසුබිමක, දැනට පාරිභෝගිකයා වෙත ලබා දී ඇති සහන මුදල ඉවත් කරමින් දැනට පවතින මිල ගණන් ඒ අයුරින්ම ඉදිරියටත් පවත්වාගෙන යනවාද, නැතහොත් එම සහනද සහිතව මිල තවදුරටත් අඩු කරනවාද යන්න පිළිබඳව ඉදිරි මිල සංශෝධනයේදී රජය විසින් නිශ්චිතවම සලකා බලා තීරණය කරන බව නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කළා.
