
ලෝකයේ සිදුවන කාලගුණික වෙනස්වීම් සමඟ ඇතිවිය හැකි එල් නිනෝ තත්ත්වය හේතුවෙන් මෙරටට එල්ල විය හැකි බලපෑම් කළමනාකරණය කරගැනීම සඳහා රජය ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ පූර්ව සැලසුම් සකස් කරමින් සිටින බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. විශේෂයෙන්ම කෘෂිකර්මාන්තය, ආහාර නිෂ්පාදනය, ජල සම්පත සහ විදුලිබල ක්ෂේත්රය කෙරෙහි මින් එල්ල විය හැකි බලපෑම් පිළිබඳව රජයේ විශේෂ අවධානය යොමු වී ඇති බව අමාත්‍යවරයා සඳහන් කළා. අද (16) පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, මේ වන විටත් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡා කිහිපයක් පවත්වා ඇති බවත්, ඒ ඒ අමාත්‍යවරුන් තමන්ගේ විෂය පථයන්ට අදාළව ඉදිරි සැලසුම් සකස් කරමින් සිටින බවයි. ලබන ජූලි සහ අගෝස්තු මාසවලදී මෙන්ම, මීළඟ වසරේ මුල් මාස කිහිපය වන පෙබරවාරි සහ මාර්තු කාලසීමාවලදී ඇතිවිය හැකි තත්ත්වයන් පිළිබඳව පුරෝකථනය කරමින් මෙම පූර්ව ක්‍රියාමාර්ග පිළිබඳ සැලසුම් සකස් කරන බවද අමාත්‍යවරයා පෙන්වාදෙනවා. විවිධ පාර්ශවයන් එල් නිනෝ තත්ත්වය පිළිබඳව විවිධ “මොඩ්ල්ස්” හරහා අනාවැකි පළ කළද, රජය නිල වශයෙන් තීරණ ගනු ලබන්නේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු මෙරට විද්‍යාඥයන් ඉදිරිපත් කරන පිළිගත හැකි පුරෝකථනයන් සැලකිල්ලට ගනිමින් බව ඔහු සඳහන් කළා. මෙම කාලගුණික වෙනස්වීම් ශ්‍රී ලංකාවට වඩා ඉන්දියාව වැනි රටවලට සෘජුවම බරපතළ ලෙස බලපෑ හැකි බව පෙන්වා දුන් නලින්ද ජයතිස්ස මහතා, ඉන්දියාවේ ආර්ථිකයට සහ එරට නිෂ්පාදනයන්ට සිදුවන බලපෑම හරහා ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සහ ආනයන කටයුතුවලට වක්‍ර බලපෑමක් ඇතිවිය හැකි බවද පැවසුවා. රජය එම සියලු තත්ත්වයන් නිරීක්ෂණය කරමින් හානි අවම කරගැනීමට අවශ්‍ය පූර්ව සූදානමක පසුවන බව ඔහු සඳහන් කළා. මේ අතර මෙරට සාමාන්‍යයෙන් යම් විපතක් සිදුවූ පසුව මිස ඊට පෙර සූදානමක් නැතැයි ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු කර ඇති චෝදනාව පිළිබඳව මාධ්‍යවේදියෙක් මෙහිදී අමාත්‍යවරයාගෙන් විමසා සිටියා. ඊට පිළිතුරු ලබාදෙමින් නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා කියා සිටියේ, ඉදිරි වගා කන්නයන් සඳහා මේවන සිටම අවශ්‍ය පූර්ව සූදානම් කටයුතු සහ සැලසුම් නිර්මාණය වෙමින් පවතින බවයි. කෙසේවෙතත් කෘෂිකාර්මික කටයුතුවලදී ජලය නිදහස් කිරීම, පොහොර නිකුත් කිරීම සහ බිත්තර වී ලබාදීම වැනි ප්‍රායෝගික පියවරයන් සිදුකළ යුත්තේ ඒ ඒ වගා කන්නයන්ට ආසන්න අදාළ නිශ්චිත කාලසීමාවන්හිදී මිස, ඊට බොහෝ කලකට පෙර නොවන බව ඔහු පෙන්වාදෙනවා. ජල පරිභෝජනය කළමනාකරණය සම්බන්ධයෙන්ද රජය දැඩි අවධානයක් යොමු කර ඇති බවත්, ඇතැම් පාර්ශවයන් ඉදිරි වසරේ අප්‍රේල් මාසය පිළිබඳව විවිධ මත පළ කළද, රජය මේ වන විටත් ක්‍රමවත් පූර්ව සංවිධාන වැඩපිළිවෙළක් දියත් කරමින් සිටින බවත් නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා. ‘එල් නිනෝ’ ගැන බරපතල අනතුරු ඇඟවීමක් එල් නිනෝ මාරයා අභියස! ලංකාව ලෑස්තිද
