
රැඳවුම් භාරයේ සිටින හිටපු බුද්ධි අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා විවිධ වධ හිංසනයන්ට ලක්කර ඇති බවට ලැබුණු පැමිණිල්ල සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කරනවා. ලැබුණු පැමිණිල්ලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් අදත්(16) ප්‍රකාශ ලබාගැනීමට නියමිත බවයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසන්නේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටින සුරේෂ් සලේ මහතාව විවිධ වධ හිංසනයන්ට ලක්කර ඇති බවට ඔහුගේ ඥාතීන් විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පසුගියදා පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ අතර අදාළ පැමිණිල්ලට අනුව සුරේෂ් සලේ මහතා රඳවා සිටි සිරමැදිරිය පිළිබඳව විශේෂ පරීක්ෂාවක් සිදුකර ඇති බව වාර්තා වනවා. එම නිරීක්ෂණවලදී අදාළ සිරමැදිරිය තුළට නිසි පරිදි වාතාශ්‍රය නොලැබීම ඇතුළු අඩුපාඩු රැසක් දක්නට ලැබුණු බවයි මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කළේ. ඒ පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත දැනුවත් කිරීමටද මානව හිමිකම් කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා.
