
(විමුක්ති එස් රුද්‍රිගු)
එල් නිනෝ දේශගුණික සංසිද්ධිය ලබන වසරේ පෙබරවාරි මාසය දක්වා පැවැතීමේ සම්භාවිතාව සියයට සියයකට ආසන්න බව ලෝක කාලගුණ විද්‍යා සංවිධානය පසුගියදා අනතුරු ඇඟවූවේය.
මෙරටට බලපා ඇති එල් නිනෝ තත්වය හේතුවෙන් ඇතිවී තිබෙන නියඟයෙන් මේ වනවිට පවුල් 31,737ක පුද්ගලයන් 1,02,624 ක් පීඩාවට පත්ව ඇති බවත් නියඟයෙන් වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ මොණරාගල දිස්ත්‍රික්කයට බවත් අපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නවතම දත්ත වාර්තාවල දැක්වේ.
වියළි කාළගුණය හේතුවෙන් පීඩාවට පත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 28ක පවුල් 31,310 කට පානීය ජලය බෙදා දීම සිදු කෙරෙන බවත් අපදා කළමනාකරණ මධ්‍යස්ථානය නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි.
ලෝක කාළගුණ විද්‍යා සංවිධානයට අනුව මේ වසර අවසන් වනවිට එල් නිනෝ දේශගුණික සංසිද්ධිය ඉතා ප්‍රබල තත්වයකට වර්ධනය වී "දැඩි එල් නිනෝ" තත්වයක් බවට පත්විය හැකි අතර එය ලබන පෙබරවාරි මාසය දක්වා පැවැතිය හැකිය. ඒ අනුව ඉදිරි මාස කීපයේදී ලෝකයේ බොහෝ ප්‍රදේශවල වර්ෂාපතන හා උෂ්ණත්ව රටාවන් සැලකිය යුතු ලෙස වෙනස් විය හැකි බවත් නියඟ, ගංවතුර සහ අධික උෂ්ණත්වය වැනි කාළගුණික තත්වයන් තවත් වැඩි විය හැකි බවත් ලෝක කාළගුණ විද්‍යා සංවිධානය අනතුරු ඇඟවූවේය.
ලෝක කාළගුණ විද්‍යා සංවිධානය පෙරේදා(03) නිකුත් කළ එල් නිනෝ යාවත්කාලීන කිරීමට අනුව නිවර්තන පැසිෆික් සාගරයේ එල්නිනෝ තත්ත්වය මේ වනවිට ස්ථිරව වර්ධනය වෙමින් පවතින අතර ඉදිරි මාසවලදී එය තවදුරටත් ශක්තිමත් වී “දැඩි” මට්ටමකට ළඟාවනු ඇතැයි පුරෝකථනය කර තිබේ.
එල් නිනෝ තත්වය හේතුවෙන් මෙරටට බලපා ඇති නියඟයෙන් මොණරාගල, රත්නපුර, අම්පාර, මඩකලපුව, බදුල්ල, අනුරාධපුරය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලට බාධා එල්ල වී ඇත. මොණරාගල පවුල් 12,732 ක පුද්ගලයන් 41,360ක්, රත්නපුර පවුල් 144 ක පුද්ගලයන් 499ක්, අම්පාර පවුල් 3,774 ක පුද්ගලයන් 11,995ක්, මඩකලපුව පවුල් 11,142 ක පුද්ගලයන් 33,394ක්, බදුල්ල පවුල් 2,227ක පුද්ගලයන් 8,383ක්, අනුරාධපුර පවුල් 30 ක පුද්ගලයන් 151ක් සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පවුල් 1,688 ක පුද්ගලයන් 6,842 ක් නියඟයෙන් පීඩාවට පත්ව තිබේ.
ලෝක කාළගුණ විද්‍යා සංවිධානය එල් නිනෝ තත්වයේදී විශේෂ අවධානයක් යොමු කර ඇත්තේ පැසිෆික් සාගරයේ මතුපිට සහ සාගර පතුලේ පවතින අසාමාන්‍ය උණුසුම කෙරෙහි වන අතර දත්ත අනුව මධ්‍යම හා නැගෙනහිර සමක පැසිෆික් සාගරයේ මුහුදු මතුපිට උෂ්ණත්වය සාමාන්‍යයට වඩා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව එම සංවිධානය පවසයි. පසුගිය ජූලි සහ අගෝස්තු මුල් කාලයේදී සාගරයේ ඇතැම් පතුල් ප්‍රදේශවල උෂ්ණත්වය සාමාන්‍යයට වඩා සෙල්සියස් අංශක 8කට වැඩි අගයකින් ඉහළ ගොස් තිබූ බව එම සංවිධානය පෙන්වා දෙයි.
මෙලෙස සාගරයේ විශාල උණුසුම් ජල ස්කන්ධයක් පැවතීම ඉදිරියේදී එල්නිනෝ තත්ත්වය තවදුරටත් ප්‍රබල කිරීමට බලපානු ඇතැයි විද්‍යාඥයෝ පෙන්වා දෙති.
