
සංවිධානාත්මක අපරාධ කල්ලි නායක නඳුන් චින්තක හෙවත් ‘හරක්කටා’ නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු (CID) රැඳවුම් භාරයේ සිටියදී, ඔහුට සහන සැලසීම සහ මුදාගැනීම සඳහා ඔහුගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12 ක අල්ලස් මුදලක් ලබාගැනීමේ සිද්ධියට උසස් පොලිස් නිලධාරීන් තිදෙනෙකු සහ භික්ෂූන් වහන්සේනමකගේ සෘජු සම්බන්ධයක් ඇති බව අල්ලස් කොමිසම අධිකරණයට අනාවරණය කර තිබෙනවා. මෙම අල්ලස් මුදලින් කොටසක් අදාළ භික්ෂූන් වහන්සේ හරහා එම උසස් පොලිස් නිලධාරීන් වෙත ලබාදී ඇති බවත්, මුදල් හුවමාරුව සඳහා ඔවුන් සහය දක්වා ඇති බවත් අල්ලස් කොමිසම අද (17) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ ප්‍රකාශ කළා. සිද්ධියට සබැඳි භික්ෂූන් වහන්සේ කවුදැයි දැනටමත් හඳුනාගෙන ඇති අතර, ඉදිරි විමර්ශන මඟින් එය තහවුරු කර අධිකරණයට වාර්තා කිරීමට නියමිතයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතිඥ රඛිත නිර්මල රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හිටපු හොරණ ආසන සංවිධායක චරිත වසන්ත කුමාර අබේසිංහ සහ සිවිල් හා ගුවන් සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන වරුෂහැන්නැදිගේ අරුණ ශ්‍රී චතුරංග යන සැකකරුවන් තිදෙනා ලබන ජූලි 28 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. සැකකරුවන්ගේ ඇප ඉල්ලීම් පිළිබඳ නියෝගයද එදිනට ප්‍රකාශ කිරීමට නියමිතයි. මෙහිදී විමර්ශනයට අදාළව වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සහකාර නීති අධ්‍යක්ෂ අනුෂා සම්බන්දප්පෙරුම කියා සිටියේ, ප්‍රශ්නගත සිදුවීම සම්බන්ධයෙන් හරක් කටාගේ බිරිඳ වන මහේෂිකා මධුවන්ති නැමැත්තිය ලබාදුන් ප්‍රකාශයක් මේ වනවිට විමර්ශන නිලධාරින්ට ලැබී ඇති බවයි. මහේෂිකා මධුවන්ති නැමැත්තිය මෙම සිදුවීම සම්බන්ධයෙන් ඇයට පැවසීමට ඇති සියලු කාරණා සඳහන් කරමින් සිදු කළ වීඩියෝ ප්‍රකාශයක් ඇතුළත් සීඩී තැටියක් මේවන විට ලබාදී ඇති බව සහකාර නීති අධ්‍යක්ෂවරිය පැවසුවා. එමෙන්ම අදාළ අල්ලස් මුදල ලබාදීමෙන් පසු එහි අරමුණු ඉටු නොවීම නිසා ඒ පිළිබඳ විමසීම් කරමින් මේ සැකකරුවන් සමඟ සිදුකළ දුරකථන සංවාද පටිගත කර ඇති දුරකථනයද මේ වනවිට විමර්ශන නිලධාරින් භාරයට ගෙන තිබෙනවා. මෙම අල්ලස් ලබාගැනීමේ සිදුවීමට අදාළව නිර්මල බණ්ඩාර හෙවත් හර්බි නැමැත්තා මුලින් ලබාදුන් ප්‍රකාශයේ සඳහන් වු පළමු සැකකාර චරිත අබේසිංහ, අල්ලස් මුදල පිළිබඳ කතා කරගැනීමට දුන් දුරකථන ඇමතුම ඉන්දියාවේ සිට ලබාගත් බවත් එම අවස්ථාවේ අනිත් සැකකරුවන් දෙදෙනාද ඔහු සමඟ සිටින බව චරිත අබේසිංහ පැවසූවේයැයි ඇය සඳහන් කළා. ඒ අනුව, ඒ පිළිබඳ සිදුකළ විමර්ශනයේදී මෙම සැකකරුවන් තිදෙනා 2023 වසරේ මාර්තු මස 04 වනදා එකම ගුවන් යානයකින් ඉන්දියාවට ගොස් නැවත තිදෙනාම 2023 මාර්තු 07 වනදා දිවයිනට පැමිණ ඇති බවට අනාවරණය වූ බව ඇය පැවසුවා. එමෙන්ම හර්බි නැමැත්තා සහ මෙම සැකකරුවන් තිදෙනාගේ දුරකථන වාර්තා විශ්ලේෂණය කිරීමේදී හර්බි නැමැත්තා පවසන කතාව සත්‍යය බවට තහවුරු වී ඇතැයි සහකාර නීති අධ්‍යක්ෂවරිය සඳහන් කළා. ඒ අනුව මෙහිදී විමර්ශනයේදී අනාවරණය වූ සැකකරුවන්ගේ දුරකථන සම්බන්ධතා සහ සැකකරුවන් සමඟ සම්බන්ධතා පැවැත්වූ හිමිනමක් පිළිබඳවද අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාව අධිකරණයට කරුණු වාර්තා කළා. මේ සිද්ධියට අදාළව නම් කියවුණු අය අතර පමණක් දුරකථන ඇමතුම් 1300 කට අධික ප්‍රමාණයක් හුවමාරු වී ඇති බව දැනට සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. එමෙන්ම මේ සැකකරුවන් තිදෙනාට එරෙහිව තවත් අල්ලස් ලබාගැනීමක් පිළිබඳ පැමිණිල්ලක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලැබී ඇති අතර ඒ පිළිබඳවද මේවන විට විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. අනතුරුව සැකකාර චරිත අබේසිංහ වෙනුවෙන් ජනාධිපති නීතිඥ නෙවිල් අබේරත්න මහතා ඇප අයැදුමක් සිදුකළා. එහිදී ඔහු කියා සිටියේ දූෂණ විරෝධී පනතේ 149 (1) වගන්තිය ප්‍රකාර සහතිකයක් ඉදිරිපත් කරන අල්ලස් නඩුවක නඩු භාණ්ඩ ලෙස අල්ලස් ලෙස ලබාගත් මුදල අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවත් අල්ලස් මුදල් හුවමාරු වීමේදී අත්අඩංගුවට ගැනීමක් සිදුවී නොමැති බවයි. මෙම පැමිණිල්ල නිර්ණාමික එකක් බවත් නඩුවේ සාක්ෂිකරුවන් ලෙස සිටින්නන් සියල්ල මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් නම් කියවෙන අය බැවින් ඒවා ස්වාධීන සාක්ෂි ලෙස සැලකීමට නොහැකි බවත් ඔහු පැවසුවා. තම සේවාදායකයාගේ වයස අවුරුදු 2 1/2 ක් වූ තුන් නිවුන් දරුවන්ගෙන් එක් දරුවෙකු මේ වෙද්දි පියා නොදැකීම නිසා කතා නොකරන තත්ත්වයකට පත්ව ඇති බවත් එම වයසේ දරුවන් තිදෙනෙක් එකට බලාගැනීම මවට විශාල ගැටලුවක් බවත් සඳහන් කළා. එමෙන්ම මොහුට ඇති හෘදයාබාධ රෝගී තත්ත්වයට දෛනිකව ප්‍රතිකාර ලබා නොගතහොත් ඔහුගේ ජීවිතයට තර්ජනයක් විය හැකි බැවින් මෙම කරුණු සුවිශේෂි කරුණු ලෙස සලකා ඇප ලබාදෙන ලෙස ඉල්ලා සිටියා. එමෙන්ම සැකකාර නීතිඥ රඛිත රාජපක්ෂ වෙනුවෙන්ද ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස මහතා ඇප අයැදුමක් සිදුකළා. එහිදී එක්තරා ජනාධිපති නීතිඥයෙක් රූපවාහිනි සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇති පරිදි සැකකරුගේ පියා වන විජයදාස රාජපක්ෂ මහතා අධිකරණ ඇමතිවරයා ලෙස මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සිදුකළ නෛතික සංශෝධන නිසා මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් චෝදනා ලැබූවන් විශාල පිරිසක් ඇප ලබා ගැනීමට නොහැකිව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බවත් එම රැඳවියන් සැකකරු කෙරෙහි වෛරයෙන් පසුවන නිසා බන්ධනාගාරය ඇතුළේ ජීවිත තර්ජනයක් පවතින බවත් ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස මහතා පැවසුවා. මීළඟ කාරණය වන්නේ සැකකරු අධික ලෙස ස්ලීප් ඇප්නියා රෝගයෙන් පීඩා විඳීම බවත් රාත්‍රී කාලයේදී ඔහුගේ ශරීරයේ ඔක්සිජන් මට්ටම ඉතා පහළ මට්ටමකට බැසීමත්, කාබන්ඩයොක්සයිඩ් මට්ටම අතිශයින් ඉහළ යාමත් හේතුවෙන් හුස්ම ගැනීම තාවකාලිකව නතර වීමේ අවදානමක් පවතින බවත් නීතීඥවරයා පැවසුවා. මේ හේතුවෙන් ඔහු ශරීරයට ඔක්සිජන් සපයන සීපීඒපී යන්ත්‍රයක් දෛනිකව රාත්‍රී කාලයේදී නිවසේදී භාවිත කරන නමුත් බන්ධනාගාරය තුළදී එය භාවිත කිරීමේ හැකියාවක් නොමැති බැවින් මෙම රෝගී තත්ත්වය සඳහා දීර්ඝ කාලීනව නිසි ප්‍රතිකාර නොලැබුණහොත් ඔහු හෘදයාබාධයකට හෝ ආඝාත තත්ත්වයකට ගොදුරු වීමේ දැඩි ප්‍රවණතාවක් පවතින බව නීතිඥවරයා පෙන්වා දුන්නා. තවද මෙම විමර්ශන කටයුතු මේ වන විට අවසාන අදියරට පැමිණ ඇති බැවින් සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තබමින් සිදු කිරීමට කිසිදු විමර්ශනයක් ඉතිරි වී නොමැති හෙයින් ඔහුව සුදුසු ඇප කොන්දේසි මත මුදාහරින ලෙස ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා. එමෙන්ම තුන්වන සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ගීත් කරුණාරත්න කියා සිටියේ, මෙම මුදල් උණ්ඩියල් ක්‍රමයට ලංකාවට ගෙන ආ බව පැවසුවද ඒ පිළිබඳව කිසිදු විමර්ශනයක් සිදු කර නොමැති බවයි. සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරයේ තැබීමෙන් ඔවුන්ගේ ජීවිතවලට සෘජු බලපෑමක් සහ අවදානමක් පවතින බැවින් එය සුවිශේෂී කරුණක් ලෙස සලකන ලෙස ඉල්ලා සිටියා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා සැකකරුවන් සම්බන්ධයෙන් වන ඇප ඉල්ලීම් පිළිබඳ නියෝගය ජුලි මස 28 වනදා ලබාදීමට දින නියම කර සැකකරුවන් තිදෙනාම එතෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා. කෙසේවෙතත් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ තබාගෙන ප්‍රශ්න කරනු ලබන නදුන් චින්තක හෙවත් හරක් කටා නැමැති සංවිධානාත්මක අපරාධකරුගෙන් මීට පෙර අවස්ථාවකදී ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයෙන් මුදාගැනීම සඳහා සහ සිරමැදිරිය තුළ විශේෂ පහසුකම් සලසා ගැනීම සඳහා ඔහුගේ ඩුබායිහි වෙසෙන බිරිඳ සහ මෙරට තැරැව්කරුවන් පිරිසක් සැලසුම් කර තිබුණා. එම සැලසුම ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් මැදිහත් වූ දේශපාලන ක්‍රියාකාරීන් සහ නීතිඥවරුන් පිරිසක් රුපියල් කෝටි 12 ක අතිවිශාල මුදලක් උන්ඩියල් ක්‍රමය ඔස්සේ ලංකාවට ගෙන්වාගෙන ඇති බවට මීට පෙර විමර්ශනවලදී අනාවරණය වුණා. අදාළ මුදල් කොටස් වශයෙන් බෙදී ගොස් ඇති ආකාරය පිළිබඳව අල්ලස් කොමිසම සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දීර්ඝ කාලීනව දුරකථන ජාල විශ්ලේෂණ වාර්තා ඔස්සේ විමර්ශන මෙහෙයවූ අතර පසුව සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනා මීට පෙර අත්අඩංගුවට පත්වුණා.
