
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ මරණය සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය සහ මාලඹේ පොලීසිය එක්ව විමර්ශන ආරම්භ කර තිබෙනවා. අද (17) උදෑසන මාලඹේ, තලාහේන, පරාක්‍රම පාරේ පිහිටි සිය නිවසේදී වෙඩි වැදීමකින් තුවාල ලැබූ ඒ මහතා නැගෙනහිර කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේ. මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නැගෙනහිර කොළඹ ශික්ෂණ රෝහලේ තැන්පත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වන බව සඳහන්. සී.ඩී. වික්‍රමරත්න මහතා ශ්‍රී ලංකා පොලිසියේ 35 වැනි පොලිස්පතිවරයා ලෙස 2020 නොවැම්බර් 27 සිට 2023 නොවැම්බර් 23 දක්වා සේවය කළ අතර, මියයන විට 63 වන වියේ පසුවුණා.
