
තමන් විසින් කොළඹ සහ මහනුවර ප්‍රදේශවල සුඛෝපභෝගී නිවාස ඉදිකරමින් පවතින බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා එල්ල කළ චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරමින්, තමන්ගේ නිවාස පිළිබඳව කාට හෝ ගැටලුවක් පවතින්නේ නම් ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා. අමාත්‍යවරයා සඳහන් කළේ, තමන්ගේ පෞද්ගලික නිවාස පිහිටා ඇති ස්ථාන, මාධ්‍යයට හෝ වෙනත් කිසිවකුට ප්‍රකාශ කිරීමේ කිසිදු අවශ්‍යතාවක් තමන්ට නොමැති බවයි. චාමර සම්පත් මන්ත්‍රීවරයා විසින් එල්ල කරන ලද මෙම පෞද්ගලික දේපළ චෝදනා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නවලට ඊයේ (17) පැවති මාධ්‍ය හමුවකදී පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. චාමර සම්පත් මන්ත්‍රීවරයා පවසන පරිදි මහනුවර ප්‍රදේශයේ ඉදිකෙරෙමින් පවතින බව කියන නිවස පිළිබඳව මුලින්ම සොයා බලන ලෙස ලාල්කාන්ත අමාත්‍යවරයා මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටියා. “ඔයගොල්ලෝ කියන්නකෝ මහනුවර ඔය කියන ඉදිකිරීම් පවතින්නේ කොහේද කියලා. එතකොට එයාගේ පචය ඔක්කොටම බලාගන්න පුළුවන්. ඔයාලා ගවේෂණාත්මක මාධ්‍යවේදීන් නේ. ඔයාලම ගිහින් බලන්නකෝ නුවර කොහේද ඔය කියන ගේ තියෙන්නේ කියලා. එතකොට ඔය ප්‍රශ්නයට උත්තරය නිකන්ම ලැබෙනවා. නිකම්ම කියෙව්වට වැඩක් නැහැනේ” තමන්ගේ දේශපාලන ගමන් මඟ හෝ තමන් පැමිණි ප්‍රදේශය පිළිබඳව විවේචනය කිරීමට කිසිවකුට අයිතියක් නොමැති බවද අමාත්‍යවරයා මෙහිදී පෙන්වාදුන්නා. “මම ආපු දිහා කාටවත් වැඩක් නැහැනේ. මම අනුරාධපුරෙන් ආවාද, ගාල්ලෙන් ආවාද, කොහෙන් ආවාද කියලා කාටවත් වැඩක් නැහැ. චාමර සම්පත්ට ඕක ප්‍රශ්නයක් නම් එයාගේ ප්‍රශ්න එයාටම විසඳගන්න කියන්න. මට එච්චරයි කියන්න තියෙන්නේ” තමන් සතු පෞද්ගලික දේපළ පවතින්නේ කොහේදැයි මාධ්‍ය හමුවේ ප්‍රකාශ කිරීමට තමන් බැඳී නොමැති බව පැවසූ ලාල්කාන්ත මහතා, “මගේ ගෙවල් තියෙන තැන්වල තිබ්බාවේ. කාට හරි ඕක ප්‍රශ්නයක් නම් ඒකට අදාළව නීතිමය පියවර ගන්න. මගේ ගෙවල් කොහේද තියෙන්නේ කියලා මම ඔයාලට කියන්න ඕනේ නැහැනේ. කාටවත් කියන්න අවශ්‍යතාවයක් මට නැහැ” යනුවෙන් වැඩිදුරටත් සඳහන් කළා.
