
සලේ තොරතුරු හංගන් හිටියට තේරුමක් නැහැ, තමන්ගේ ලැප්ටොප්, ෆෝන්වල තියෙන දේවල් දීලා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් සතු තොරතුරු සඟවාගෙන සිටීමේ කිසිදු තේරුමක් නොමැති බවත්, හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා සිදු කළ යුත්තේ තමන්ගේ ලැප්ටොප් පරිගණකයේ හෝ ජංගම දුරකථනයේ ඇති දත්ත ඇතුළු තමන් දන්නා සියලුම තොරතුරු ලබා දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ ආරක්ෂක අංශවලට පූර්ණ සහාය දැක්වීම බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. අමාත්‍යවරයා සඳහන් කළේ, බුද්ධි නිලධාරියෙකු සහ හමුදා නිලධාරියෙකු ලෙස සුරේෂ් සලේ මහතාට මේ මොහොතේ කළ හැකි හොඳම සහ වගකීම් සහගතම කාර්යය එය බවයි. අද (16) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී, සුරේෂ් සලේ මහතා දේශපාලන සිරකරුවෙකු ලෙස විපක්ෂය හඳුන්වන්නේ දැයි මාධ්‍යවේදින් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, විපක්ෂය ඔහුව එලෙස හඳුන්වන්නේ ඇතැම්විට පාස්කු ඉරිදා ප්‍රහාරය දේශපාලන ඝාතනයක් ලෙස ඔවුන් අර්ථකථනය කරගෙන ඇති නිසා විය හැකි බවයි. කෙසේවෙතත්, මෙම ප්‍රකාශයන් පිළිබඳව රජය කලබල වීමට අවශ්‍ය නොමැති බවත්, එවැනි කලබල වීම්වලින් සිදුවන්නේ පරීක්ෂණ අවුල් වීම පමණක් බවත් පැවසූ නලින්ද ජයතිස්ස මහතා, දැනට ක්‍රියාත්මක වන කිසිදු විමර්ශනයකට මෙවැනි දේශපාලන ප්‍රකාශවලින් බාධාවක් නොවන බවද කියා සිටියා. එමෙන්ම “සුරේෂ් සලේ කිසිවෙක් පාවා නොදී කට නොඇර ඉන්නවා” යනුවෙන් සරත් වීරසේකර මහතා ප්‍රකාශ කර තිබූ බව පෙන්වාදුන් නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා, එවැනි ප්‍රකාශ සිදුකිරීම තුළින්ම මෙම සමස්ත සිදුවීම් මාලාවේ පිටුපස ඇති සැබෑ සබඳතාවය කුමක්ද යන්න පිළිබඳව රටේ මහජනතාවට ඉතා හොඳින් ඉඟි ලැබෙන්නට ආරම්භ වන බව සඳහන් කළා. කෙසේවෙතත් සුරේෂ් සලේ මහතා මේ වන විට සිදුකළ යුත්තේ තමන්ව විමර්ශනය කරනු ලබන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ විමර්ශකයන් මාරු කරන ලෙස ඉල්ලීම් කරමින් අරගල කිරීම නොවන බව අමාත්‍යවරයා පවසනවා. තමන් සතු සාක්ෂි විමර්ශන නිලධාරීන්ට බාර දී නීතිය ක්‍රියාත්මක කිරීමට සහාය දීම වෙනුවට, විමර්ශන නිලධාරීන් වෙනස් කිරීමට උත්සාහ කිරීම ඵලක් නොමැති ක්‍රියාවක් බව පෙන්වා දුන් නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා, රජය කිසිදු බාධාවකින් තොරව පාස්කු ප්‍රහාරයේ සත්‍යය සෙවීමේ පරීක්ෂණ කටයුතු ස්වාධීනව ඉදිරියටම රැගෙන යන බව පවසා සිටියා.
