
රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ DNA පරීක්ෂණ ධාරිතාව තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා නවීන පරීක්ෂණ උපකරණ රැසක් අද ලබා දී තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මැදිහත්වීමෙන් ලබාදුන් මෙම උපකරණ අද (15) පෙරවරුවේ බත්තරමුල්ල, ඉසුරු මාවතේ පිහිටි රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී භාරදීම සිදුකෙරුණා. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ සහභාගිත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මෙරට නිත්‍ය නියෝජිත Azusa Kubota මහත්මිය විසින් එම උපකරණ රජයේ රස පරීක්ෂක කාමිණි පෙරේරා මහත්මිය වෙත භාරදෙනු ලැබුවා. RT-PCR යන්ත්‍රයක්, PCR පද්ධතියක් සහ Crime Lite සිරෝලොජි කට් ඇතුළු උපකරණ ඊට ඇතුළත් වන අතර ජීව විද්‍යාත්මක සාක්ෂි නිවැරදිව හඳුනාගෙන විශ්ලේෂණය කිරීම මගින් අධිකරණ ක්‍රියාවලියේ විද්‍යාත්මක පදනම ශක්තිමත් කිරීම මෙම උපකරණ ලබාදීමේ ප්‍රධාන අරමුණයි. තවද මේ තුළින් අධිකරණ විද්‍යාත්මක DNA විශ්ලේෂණයේ නිරවද්‍යතාව සහ විශ්වාසනීයත්වය ඉහළ නැංවීම මඟින් නඩු කටයුතුවල පවතින ප්‍රමාදයන් අවම කිරීමටද අපේක්ෂා කරනවා. මේ අතර, රස පරීක්ෂක වාර්තා ලබාදීමේ ප්‍රගතිය සහ නවීන පරීක්ෂණ පහසුකම් සම්බන්ධයෙන්ද අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. එහිදී අදහස් දක්වමින් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා සඳහන් කළේ, මත්ද්‍රව්‍ය සම්බන්ධ රස පරීක්ෂණ වාර්තා මාස තුනකට අඩු කාලයක් තුළ නිකුත් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි. රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පවත්නා කාර්ය මණ්ඩල පුරප්පාඩු පිරවීමටද පියවර ගෙන ඇති බවත්, නවීන යන්ත්‍ර සහ අවශ්‍ය රසායනික ද්‍රව්‍ය ලබාදීම හරහා පරීක්ෂණ කටයුතු කඩිනම් කිරීමට කටයුතු කර ඇති බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවා. මෙම අවස්ථාවට වැඩබලන රජයේ රස පරීක්ෂක කාමිණි පෙරේරා, UNDP මෙරට නිත්‍ය නියෝජිත අසුසා කුබෝටා(Azusa Kubota) සහ ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් ඉසබෙලා මාටින් (Isabella Martin) යන මහත්මීන් සහභාගී වුණා.
