
අල්ලස් කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව,ඇප මත මුදාහැර තිබෙනවා. ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාව කැඳවා තිබූ අතර, ඒ අනුව ඔහු අද පෙරවරුවේ අල්ලස් කොමිෂන් සභාවට පැමිණියා. පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ රඟහල සඳහා පුටු මිලදී ගැනීමේදී ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යාංශයට රුපියල් 7,973,114.50 ක පාඩුවක් සිදුකිරීම සහ බාහිර පාර්ශ්වයකට අයුතු වාසියක් සැලසීමේ දූෂණ චෝදනාව මත හිටපු සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ක්ෂේවියර් ප්‍රනාන්දු මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණා . අදාළ මිලදී ගැනීමේදී නිසි ප්‍රමිතියෙන් යුතුව අවම මිල ගණන් ඉදිරිපත් කළ ආයතනයෙන් ලබානොගෙන, ඩීසයින් පොයින්ට් පුද්. සමාගමෙන් මිලදී ගැනීමට කටයුතු සැලසුම් කිරීම සම්බන්ධයෙන් මෙම චෝදනා එල්ල වී තිබුණා. මෙම සිදුවීමට අදාළව ආධාර අනුබල දීමේ චෝදනා මත ඩීසයින් පොයින්ට් පුද්. සමාගමේ හිමිකරු වන පටබැඳිගේ හේමන්ත ලලිත් ද සිල්වා යන අයද කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එමෙන්ම, වෙළෙඳ අමාත්‍ය ධුරයේ කටයුතු කළ කාලවකවානුව තුළ සතොස ආයතනයට අයත් ලොරියක් ඔවුන්ට අයත් එතනෝල් සමාගමක කටයුතු සඳහා භාවිත කිරීම තුළින් රජයේ දේපළ අවභාවිත කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට ඔවුන් අත්අඩංගුවට ගැනුණු අතර පසුව ඇප මත මුදා හැරියා. ඒ, ඔහුගේ බාල පුත් ජෙරෝම් කෙනත් ප්‍රනාන්දු ද සමගයි. ඊට අමතරව දැන දැන ම අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර නිලධාරීන් නොමග යවා නීති විරෝධී ලෙස එතනෝල් බලපත්‍ර ලබා ගැනීම, බදු ගෙවීම පැහැර හැරීම සහ මුදල් විශුද්ධිකරණය යන චෝදනා යටතේ හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන්ට එරෙහිව මෙම විමර්ශන පැවැත්වෙනවා.
