
වත්මන් රජයේ හිටපු අමාත්‍යවරයෙකු වන කුමාර ජයකොඩි මහතාට එරෙහිව අල්ලස් කොමිසම පවරා ඇති දූෂණ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන සැප්තැම්බර් මස 07 වනදා සිදු කිරීමට කොළඹ මහාධිකරණය නියම කළා. මෙම නඩුව ඊයේ (15) කොළඹ මහාධිකරණ විනිසුරු රෂන්ත ගොඩවෙල මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කළා. නඩුවේ සාක්ෂි විමසීම ආරම්භ කරමින්, ලංකා පොහොර සමාගමේ හිටපු ප්‍රසම්පාදන විධායක නිලධාරිනී දීපිකා ඩයස් මහත්මිය අධිකරණය හමුවේ කරුණු දැක්වූවා. 2014 වසරේ තමන් ප්‍රසම්පාදන අංශයේ සේවය කරන විට එහි කළමනාකරු ලෙස කටයුතු කළේ විත්තිකාර කුමාර ජයකොඩි මහතා බව ඇය පැවසුවා. පොහොර සමාගමේ ගබඩා සංකීර්ණය කාපට් කිරීම සඳහා නිසි ටෙන්ඩර් පටිපාටියකට අනුව අවම ලංසුව ඉදිරිපත් කළ ‘ඩී.එස්. කන්ස්ට්‍රක්ෂන්’ ආයතනය තෝරාගත් බව ඇය සඳහන් කළා. 2014 පෙබරවාරි 18 වනදා අදාළ ගිවිසුම් අත්සන් කර, එම සමාගමට අත්තිකාරම් ලෙස රුපියල් 8,859,708/-ක මුදලක් ගෙවා තිබුණද, එමගින් කිසිදු කාපට් ඇතිරීමේ කාර්යයක් සිදුනොවූ බව සාක්ෂිකාරිය අනාවරණය කළා. විත්ති පාර්ශවයේ ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස මහතා නැඟූ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇය කියා සිටියේ, මෙම සිදුවීම පිළිබඳ පැවැති අභ්‍යන්තර පරීක්ෂණයේදී තමන්ට ඇතැම් කරුණු ගැන අවබෝධයක් නොතිබූ බැවින්, විත්තිකාර කුමාර ජයකොඩි මහතාගෙන් වරින් වර විමසා දැනගෙන කටඋත්තර ලබා දුන් බවයි. මෙම කාපට් ඇතිරීමේ කටයුත්ත සඳහා අදාළ සමාගම තෝරාගත් ප්‍රසම්පාදන කමිටුවේ විත්තිකරු ඇතුළු සාමාජිකයන් හතර දෙනෙකු සිටියදී, සෙසු සාමාජිකයන් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම පරීක්ෂණයක් නොකළේ මන්දැයි විනිසුරුවරයා ප්‍රශ්න කළා. ඊට පිළිතුරු දෙමින් අල්ලස් කොමිසමේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අසිත ඇන්තනි මහතා පැවසුවේ සෙසු සාමාජිකයන් එම කටයුතුවලට සහය දීම පමණක් සිදුකර ඇති බවයි. ලංකා පොහොර සමාගමේ විශ්‍රාමික මුදල් කළමනාකරු පී. සමරවීර මහතාද අධිකරණය හමුවේ සාක්ෂි ලබා දුන්නා. අදාළ පෞද්ගලික සමාගමට රුපියල් 8,859,708/-ක අත්තිකාරම් මුදල ගෙවනු ලැබුවේ විත්තිකරුගේ නිර්දේශය මත බවත්, විත්තිකරු එය නිර්දේශ නොකළේ නම් එම මුදල ගෙවීමට ඉඩක් නොලැබෙන බවත් ඔහු පැවසුවා. කෙසේ වෙතත්, විත්ති පාර්ශවයේ හරස් ප්‍රශ්න හමුවේ ඔහු පිළිගත්තේ මෙම ගෙවීම අවසාන වශයෙන් අනුමත කරනු ලැබුවේ පොහොර සමාගමේ සභාපතිවරයා විසින් බවයි. අත්තිකාරම් මුදල් ගෙවා තිබියදීත් කාපට් ඇතිරීමේ කටයුතු සිදුනොවූ නිසා, අදාළ පෞද්ගලික සමාගම තබා තිබූ ඇපකරය පොහොර සමාගම සතු කර ගැනීමට පියවර ගත් බවද සාක්ෂිකරු සඳහන් කළා. නඩුවට අදාළ ගිවිසුම් පිටපත පරීක්ෂා කළ මහාධිකරණ විනිසුරුවරයා විවෘත අධිකරණයේදී පෙන්වා දුන්නේ, කාපට් ඇතිරීමේ කටයුතු අවසන් කළ යුතු කාලසීමාවක් ගිවිසුමේ සඳහන්ව නැති බවයි. නඩුවේ චෝදනා දෙකටම පදනම් වී ඇත්තේ එම කාලසීමාව බැවින්, ඒ පිළිබඳව සොයා බලා අධිකරණයට සාක්ෂි ඉදිරිපත් කරන ලෙස මහාධිකරණ විනිසුරුවරයා අල්ලස් කොමිසමට දැනුම් දුන්නා. අදාළ සමාගමට අත්තිකාරම් මුදල් ගෙවීම සම්බන්ධයෙන්ද ගිවිසුමේ කිසිදු සඳහනක් නොමැති බව විනිසුරුවරයා පැවසුවා. ඒ අනුව, වැඩිදුර සාක්ෂි විභාගය සැප්තැම්බර් මස 07 වනදා දක්වා කල් තැබූ විනිසුරුවරයා, එදිනට සාක්ෂි දීම සඳහා තවත් සාක්ෂිකරුවන් දෙදෙනෙකුට සිතාසි නිකුත් කිරීමට නියෝග කළා. 2014 වසරේ ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන කළමනාකරු ලෙස කටයුතු කරමින්, ගබඩා පරිශ්‍රයේ කාපට් ඇතිරීමේ කොන්ත්‍රාත්තුව පෞද්ගලික සමාගමකට වාසි සහගත ලෙස ලබා දීම තුළින් රජයට රුපියල් 8,859,708/-ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍යවරයාට එරෙහිව මෙම නඩුව පවරා තිබුණා.
