
එයාර්බස් ගනුදෙනුවට අදාළ නඩුවේ දෙවන සැකකාරිය වන ප්‍රියංකා නයෝමාලි විජේනායක මහත්මියට විවෘත වරෙන්තු නිකුත් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (15) නියෝග කර තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, මීට පෙර නිකුත් කර තිබූ වරෙන්තුව සංශෝධනය කරමින් ඉංග්‍රීසි භාෂාවෙන් විවෘත වරෙන්තු නිකුත් කිරීමට මහේස්ත්‍රාත්වරයා පියවර ගත්තා. මෙම සැකකාරිය ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳ වන අතර, ඔහු මෙම නඩුවේ පළමු සැකකරු ලෙස නම් කර සිටියදී මියගියා. මේ අතර, සැකකාරිය වෙනුවෙන් ඇපකරුවන් ලෙස කටයුතු කළ හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ ඇපකාරිත්වයෙන් නිදහස් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් ද ඉදිරිපත් කෙරුණා. ඒ සම්බන්ධයෙන් කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, අදාළ ඇප මුදල රුපියල් මිලියන 20ක් බව පෙන්වා දෙමින් ඇපකරුවන්ට කරුණු ඉදිරිපත් කරන ලෙසයි නියෝග කළේ. ඇපකාරිත්වයෙන් ඉවත් වීමට හේතු ලිඛිතව අධිකරණයට දැනුම් දෙන ලෙසද එහිදී නියෝග කෙරිණා. නඩුවේ වැඩිදුර විභාගය ලබන 22 වැනිදා යළි කැඳවීමට අධිකරණය තීරණය කළා.
